Cherreads

Chapter 29 - 29

ඒ දවස හරි දිගුයි. වෙහෙසකාරී දවස් වුණත් අපේ ජීවිතේට එන්නෙ අපි නොහිතන විදිහට . ඒ දවස් වෙහෙසකාරී බවින් වැඩි වෙන්න වැඩි වෙන්න දවස දිගු විදිහට දැනෙන්න ගන්නවා.

ඒ රෑත් එක්කමයි ඒ දවස ගෙවිලා ගියේ. කේන්තියෙන් ගෙවපු රෑ මොහොතකට හරි නිවුණේ අර ජීප් එකේ එනකන් අහපු සින්දු ටික හින්දාමයි. දහසකුත් දේවල් කියාගන්න තිබුණත් ඒවා එහෙම ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි. හොඳම දේ මුණිවත රකින එකම තමයි..

නින්දට ගියාට වෙනදා නම් නින්ද කියලා කෙනෙක් අහළකටවත් එන්නෙ නෑ. ඒත් එදා දවසෙ නම් අර වලි ගොඩට පැටළිලා ආපහු ගෙදර එද්දි හොඳටම හෙම්බත් වෙලා උන්නු නිසාදෝ ඇඳට වැටුණත් හරි ගැරඬියට එහෙම්මම නින්ද ගියා. යකෙක් කෑවත් ආයෙමත් කීයටවත් ඇහැරවන්න පුළුවන් විදිහේ නින්දක නම් නෙවෙයි එයා උන්නේ..

ඒත් ඒ නින්ද හරියටම සීමා වුණේ උදේ පාන්දර හය වෙනකන් විතරයි. වෙනදා වගේම කණ ගාව අඬන්න ගත්තු alarm එකේ සද්දෙට කොල්ලා එහෙම්මම ඇස් ඇරියා. ඉර එළියක් නම් පේන තෙක් මානෙක නෑ. එළියත් අඳුරත් අතරෙ මැදි වුණු වාතාවරණයකින් ඒ මොහොත පිරිලා තිබුණා.

ඈනුමකුත් යවාගෙනම ඇඳෙන් නැගිට්ට එයා ඇඳන් උන්නේ කලින් දවසේ රෑ night club එකට ඇඳගෙන ගියපු ඩෙනිම් කලිසම විතරමයි, උඩුකය නිරුවතින්..

මිගාන් කාමරේ තිබුණු විසල් වීදුරු කවුළු දෙක විවර කළේ සුදු පාට තිර රෙද්ද මෑත් කරමින්. අහසේ එක් කොණක ලාවට වගේ ඉර පායාගෙන එන ගමන්. කලින් දවසේ රෑ බඩ තඩියටයි, ශේන් ලොක්කටයි අම්බානෙක ගුටි දීලා එයාටත් ටිකක් තෙහෙට්ටුයි. නැඟිට්ට පැදුරෙන්ම bathroom එකට වැදුණු මිගාන් wash එකකුත් දාගෙන එළියට ආවේ සුපුරුදු විදිහට පැයකට කිට්ටු වෙලාවක් ගිහින්. හරියටම ඒ වෙද්දි වෙලාව 6.55 යි.

සුදු පාට ටවල් එකකුත් ඇඟ දවටගෙන තෙත හිස කෙස් අතින් ගසන ගමන් එයා කාමරයට ඇවිත් කණ්ණාඩිය ගාව තිබුණු sun cream එක අරන් ගෙල දෙපැත්තේ ආලේප කරගත්තා.

සුපුරුදු විදිහටම බයික් එකෙන් ගමනක් යද්දි එයා ගොඩක් වෙලාවට අඳින්නේ jym short එකයි, fit ටී ෂර්ට් එකයි.. ඒකටම match වෙන්න වගේ pillow slippers දෙක..

උදේ 7.10 වෙද්දි එයා කාමරෙන් පිට වෙලා ඇවිත් පඩිපෙළ බැහැලා පහළට එනකොට නුහුරු නුපුරුදු විදිහට බාබු අන්කල් කෑම මේසයේ එයාගේ තේ එක තියලා තිබුණා. සුවඳක් ආවේ මොනවදෝ රසකැවිලි ජාතියක..

කෑම මේසය ළඟට ආව මිගාන් පුටුවක් ඇදලා අරන් වාඩි වුණේ සුදු පාට අලුවා කෑලි වගේ fruit and nut මිශ්‍ර කරලා හදලා තිබුණු රසකැවිලි කෑල්ලකුත් අතට ගන්න ගමන්.

" මොනාද බාබු අන්කල් මේ? "

එයා ඇහුවේ ඒ රසකැවිලි කෑල්ලෙන් ටිකක් කාලා.

" ඔය බර්ෆි සර්..."

බාබු අන්කල් හිනා වෙලා.

"බර්ෆි...ශාහ්..රසයිනේ.."

එයා කිව්වේ ඒ බර්ෆි කෑල්ල එහෙම්මම කටේ දාගන්න ගමන්. බාබු අන්කල් එයා ඒවා කන දිහා බලන් උන්නෙ හරි ආසාවෙන්. කොහොමත් එයා හදපු කෑම ජාතියක් මිගාන් රසයි කියලා කියන එක තරම් දෙයක් නම් එයාට නෑ.

" ඕවා ඉන්දියාවේ අයගෙ කෑමක් සර්.. කිරි දාලා එහෙම හදන්නේ.... "

" ෂාහ්....ඒක තමයි මේ කිරි රස එන්නේ..."

එයා තේ එකෙන් උගුරකුත් බොන ගමන් කිව්වා. එහෙම්මම එයා තවත් බර්ෆි කෑල්ලක් කටේ දාගත්තේ කොල්ලට රස දැනිච්ච හින්දමයි.

" බාබු අන්කල්..."

" සර්..."

බාබු අන්කල් තව ටිකක් කොල්ලට ළං වෙලා කතා කළේ යටහත් පහත් විදිහට .

" මට මේවයින් ටිකක් දාලා පාර්සල් කරලා දෙන්න පුළුවන්ද? මගෙ යාළුවෙක්ට ගෙනියන්න... "

මිගාන් එහෙම කිව්වේ හිනා වෙලා.

" අනේ ඕක මොකක්ද සර්.. ඔහොම ඉන්නකෝ... "

බාබු අන්කල් එහෙම කියලා ෆ්‍රිජ් එක ඇරලා බර්ෆි කෑලි විස්සක් විතර අරන් තෙල් කඩදාසියක ඔතලා box එකකට දැම්මේ මිගාන් ඉස්සරහදිමයි. එයා ඔහේ තේ බිබී බලන් උන්නා.

" මෙන්න සර්..."

බාබු අන්කල් බර්ෆි box එක කොල්ලගෙ අතට දුන්නේ හිනා වී ගෙනමයි.

" අනේ thank you බාබු අන්කල්... "

එයා box එක අතට ගන්න ගමන් බාබු අන්කල්ට ස්තූති කළේ හිනා වෙලාමයි.

" අනේ...මට ස්තූති කරන්නෙ අහවල් කාරියකටද සර්.. "

" එහෙම කියලා හරියන්නෑනේ බාබු අන්කල්.. මනුස්සයෙක් උදව්වක් කරාම අපි ඒකට පෙරළා ස්තූති කරන්න ඕනි... "

එයා එහෙම කියාගෙනම කෑම මේසයෙන් නැඟිටලා පුටුවත් ඇතුළට තල්ලු කරන් බර්ෆි දාපු box එක අතට ගත්තා . බාබු අන්කල් අර අහිංසක හිනාවෙන්ම කොල්ලා දිහා බලන් උන්නේ එයාගෙම දරුවෙක් දිහා බලන් ඉන්න සෙනෙහසින්.

" මං එහෙනම් ගිහින් එන්නම් බාබු අන්කල්.. fresh milk එක ඇවිල්ලම බොන්නම්..."

එයා එහෙම කියාගෙනම බාබු අන්කල්ට පිටුපාලා හැරුණා.

" පරිස්සමින් සර්...බුදු සරණයි...! "

බාබු අන්කල් ඒ ආශිර්වාදය එකතු කළේ නම් හදවතින්මයි. බාබු අන්කල් ද්‍රවිඩ වුනාට මොකද එයා ගොඩක් ආශ්‍රය කරන්නෙම සිංහල අය නිසාවෙන් බාබු අන්කල් ආගම විදිහට අදහන්න පුරුදු වුණෙත් බෞද්ධාගම . ඉතින් එයාගෙ මුවින් නොදැනුවත්වම වගේ බුදු සරණයි කියවෙන එක සාමාන්‍ය දෙයක් වුණා.

බර්ෆි දාපු box එකත් අරගෙන එළියට ගිය ගැරඬියා එයාගෙ kawazaki bike එකට නැඟලා box එකත් පරිස්සමට අල්ලගෙන කුමාරතුංග මුනිදාස මාවත දිහාවට ඉගිලිලා ගියා.

සත්සිඳු උදේම නැඟිටලා office එන්න ලෑස්ති වුණේ සතියක් විතර ගිහිල්ලත් තවමත් office එකට යන්න බැරි වෙච්චි හින්දා. අමාරුවෙන් වුණත් හදාගත්තු හිත ආයෙනම් කඩාගන්න වුවමනාවක් නෑ.

සුපුරුදු විදිහටම ලක ලැහැස්ති වෙලා ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහට ආපු එයා පන්නිපිටියට ඇවිත් බස් එකක් එනතුරු බලන් උන්නා. විනාඩි පහක් යන්නත් ඉස්සර පොල් පැටෙව්වා වගේ මිනිස්සු පුරවගෙන ආව බදුල්ල - කොළඹ බස් එකකට ගොඩ වෙලා යාන්තමට අස්සකින් රිංග ගත්තු කොල්ලා වවුලෙක් වගේ පොල්ලක එල්ලිලා උන්නා.

වවුල් විවාහයටම ආවේණික මේ ලක්ෂණය ඉතින් කොළඹ මනුස්සයෙක්ට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයිනේ..

තුම්මුල්ල හරහා ඇවිත් කුමාරතුංග මුනිදාස මාවත දිහාවට වැටුණු ගැරඬියගේ kawazaki bike එක ගිනි පිඹගෙන ඇවිත් නතර වුණේ අර සුපුරුදු නුග ගහ යට. ගිනි මකරෙක් වගේ වේගයෙන් ආවට මොකද කොල්ලා බර්ෆි box එක නම් හරි පරිස්සමට අරන් ආවේ..

නුග ගහ යට bike එක නතර කරලා එයා මොහොතක් bike එකටම වෙලා ඉද්දි තර්ස්ටන් විද්‍යාලයට පයින් යන කොල්ලො ටිකක් එයාගෙ bike එක දිහා බල බලා මොන මොනවදෝ මුමුණ ගියා.

මොහොතක් bike එකට වෙලාම phone එක දිහා බලන් උන්නු එයාට දැනුනේ නුග ගහ යටින් එන සුපුරුදු සුවදායක සුළඟ . ඒ හීතල හුලං රැල්ල කුමාරතුංග මුනිදාස මාවතට එකතු කළේ පෞරාණිකත්වයක් එක්ක මුහු වෙච්චි සිතුවිලි ගොඩක්..

Phone එකෙන් ඇස් දෙක අහකට අරන් එයා ඒ පෞරාණික පෙනුමැති මාවත දිහා ඔහේ බලන් උන්නා. රූස්ස නුග ගස් පෙළක් එක්ක ඒ මාවත හරියට කේසර සිංහයෙක් වගේ තේජසකින් පෙනී ඉන්නවා. Daily Lanka ප්‍රදාන කාර්යාලය පිහිටලා තියෙන රැජින පාරත් එහෙම්මමයි.

කල්පනාවෙන් කල්පනාව තුම්මුල්ල පැත්තෙන් ඈත් වෙච්චි ඇස් දෙක එයාව මතක් වුනත් හරි ආයෙමත් හරවගත්තේ එයා එනවද කියලා බලන්න. අදත් කලින් වගේමද කොහෙද.. එන්නෙ නැද්ද කොහෙද..

ඔන්න ඔය ජාතියෙ සිතුවිලි ගොඩකින් දැන් වෙද්දි එයාගෙ හිත පිරිලා. ඒත් එක්කම තුම්මුල්ල පැත්තෙන් ආව බදුල්ල - කොළඹ දුවන පොල් පැටෙව්වා වගේ තිබුණු බස් එකක් ඇවිත් නතර කරද්දි නම් එයාගෙ හිතට පුංචි බලාපොරොත්තු සහගත සැනසීමක් ආවා. ඒත් විශ්වාස කරන්න බැරි තරම්..

බස් එක නික්මිලා කොටුව පැත්තට යන්න ගියත් හරි එයා දැක්කේ අර සුපුරුදු රුව. ඔව්, ඒ එයාගෙ හිතේ ඉන්න අහිංසකයා.. සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇඳලා,කළු කලිසමට යට කරලා , side bag එකකුත් එල්ලගෙන උසට උසේ එන්නේ එයා..

දවස් ගානක් තිස්සෙ දකින්න ආස කරපු ඒ රූපය.. එයාගෙ හිත මෙතුවක් දවස් අඬවාපු ඒ රූපය.. ඔව්, එයා කුමාරතුංග මුනිදාස මාවතේ වම් පැත්තෙ වේදිකාව දිගේ ඉස්සරහට ඇදෙනවා. බලාපොරොත්තු සහගත ගැරඬියගේ මුවට ලස්සන හිනාවක් ආවේ එයාව දැක්කමයි.

" අනේ මගෙ රත්තරන්..."

එයා කිව්වෙ නෑ , එහෙම්මම කියවුණා . හිනා වී ගෙනම බලන් උන්නු එයා එහෙම්මම bike එකෙන් බැහැලා සත්සිඳු ට පේන්න වගේ ඉස්සරහට ගියේ මූණේ අර සුපුරුදු සුන්දර හිනාවත් පුරවගෙනමයි.

බිම බලාගෙන ආවට මොකද සත්සිඳුගේ ඇස් දෙකත් අර නුග ගහ දිහාවට හැරුණේ හරියට පුරුද්දක් විදිහට වුණත් ඒක දෛවෝපගත සිදුවීමක් වගේ. එයත් එක්ක සුන්දරව හිනා වී ගෙන බලන් ඉන්න ඒ හිතුවක්කාර, දඩබ්බර ගැරඬියා.. ඔව්, එයාව දැක දැකත් නොදැක්කා වගේ යන්නෙ කොහොමද ?

' ඔයා අදත් මාව බලන්න ආවද? '

සත්සිඳුගේ හිත ඇහුවේ එහෙම දෙයක්. අර සුන්දර හිනාවට සත්සිඳුත් ලස්සනට හිනාවකින් සංග්‍රහ කරලා පාර දෙපැත්ත බලලා ඉක්මනට පාර පැන්නේ මිගාන් ගාවට යන්න. මිගාන්ගේ මූණේ පිරිලා ඉතිරිලා යන සිනාවට අමතරව ඒ ඇස් දෙකේ හැංගිලා තියෙන මොකක්දෝ මන්දා බලාපොරොත්තු සහගත සතුටක් පාර පනින මොහොතෙත් සත්සිඳු හොඳාකාරවම දැක්කා.

පාර පැනලා එයා ගාවට එන අහිංසකයාගෙ ඇස් දිහා බලාගෙනම උන්නු ගැරඬියට හරි සතුටුයි.

" සර්..."

පාරෙන් ඇවිත් නුග ගස් සෙවණ යටට වෙන ගමන් සත්සිඳු කතා කළේ හිනා වී ගෙනමයි.

" සත්සිඳු..ඔයා...."

එයාට කතා කරගන්නත් බෑ. ඒ තරමටම සතුට. සතුටු කඳුළක් ඇස් දෙකට ආවත් කොල්ලට පේන හින්දා ගැරඬියා ඒ කඳුළු බිංදු හංග ගත්තා.

" ඔ..ඔයා එහෙනම් ආවා.. ඔයා ආවා..... "

එයා එහෙම්මම දෙපාරක් නොහිතාම ඒ නුග ගස් සෙවණ යටදි සත්සිඳුව බදාගත්තේ හරි ආදරෙන්. එයාව බදාගත්තු නපුරු ගැරඬියගේ හදවත සෙනෙහසේ වේගයෙන් ගැහෙන හැටි සත්සිඳුට ඒ මොහොතේ නම් හොඳාකාරවම දැනුනා.

" මෙච්චර කල් කොහෙද හිටියෙ මගෙ රත්තරන්...? "

එයා සත්සිඳුව බදාගෙනම ඇහුවේ බිඳුණු හඬකින්. එයා අඬන්නෙ නෑ කියලා පෙන්වන්න හැදුවට එයාට ඇඬෙන බව සත්සිඳුට තේරුණා. එයාගෙ පපුවට තුරුළු කරන් ඉන්න කොට අත් දෙක නිකරුණේ පහතට හෙලාගෙනම කිසිම හැඟීමක් දැනීමක් නැති ගානට ඉන්න සත්සිඳුගේ හිත ඉඩ නොදුන්නේ අර දඩබ්බර ගැරඬි පපුව ගැහෙන වේගය එන්න එන්නම වගේ වැඩියෙන් දැනෙන්න ගත්තු නිසා.

" සර්...."

" ෂ්... මොකුත් කියන්නෙපා. ඔ..ඔයාට ඕනි තරමක් මට රිද්දන්න. ඒත් ආයෙමත් නොකිය නම් යන්නෙපා...කොහෙවත්ම.... "

මිගාන් බිඳුණු හඬකින් කියද්දි නම් සත්සිඳුගේ පපුවට වුණත් වාවන්නෙ නම් නෑ. එයා ආදරේ කරන බව දැන දැනත් , එයාට තවත් ළං වෙන්න අවසර නැති බව දැන දැනත් සත්සිඳු එහෙම්මම දෑත් යවලා එයාව බදාගත්තා.

" අනේ කියන්නකෝ මගේ දරුවෝ.. ඔයා කොහෙද ගියේ... ඔයා..ඔයා දන්නවද මං කොච්චර බය වුණාද කියලා..ම්... මං කී දවසක් මේ නුග ගහ යටට වෙලා බලන් උන්නද රත්තරනේ.... "

ඒ වචන සත්සිඳුගේ සවන්පත් හරහා හදවත කරා ගමන් කරන නිමේෂයේ තවත් නම් එයාට දරාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මෙච්චර ආදරයක් දෙන ඒ පිරිමි පපුව ගැන මහා ලෝභකමක් එයාගේ හිතේ ඉපදුණත් පන්හිඳ ගැන සිහිපත් වුනු හැටියෙම ඒ හැඟීම තත්පරේට දෙකට එයා හදවත පත්ලෙම වැළලුවා.

" ඇයි මොකුත් කියන්නැත්තේ? කියන්නකෝ දරුවෝ... ඔයා කොහෙද ගියේ? "

නපුරු ගැරඬියා ඇහුවේ එයාව බදාගෙනමයි.

" සර්..."

" ම්..."

" සර්...මගෙ..මගේ කිරි අම්මා.... "

එයාට කියන්න පුළුවන් වුණේ එච්චරමයි. ඒත් එක්කම කොහේදෝ ඉඳන් ආව ඉකියක් කොල්ලගේ උගුරේ හිරවුණේ හැඬුමක් එක්කමයි.

එහෙම්මම එතුවක් වෙලා එයාව බදන් උන්නු ගැරඬියා එයාව අ‍ත් හැරලා කලබලෙන් වගේ ඒ අඬන මූණ දෝතට අරන් සමීප වුණේ එයා අඬනවා බලන් ඉන්න බැරි තැන.

" අනේ ඇයි මගෙ දරුවෝ අඬන්නේ ? ඇයි කිරි අම්මට මොකක්ද වුණේ ? "

මිගාන් ඇහුවේ කලබලෙන්.

" එයා නැති වුණා සර්.... "

එහෙම්මම කියලා සත්සිඳු ආයෙමත් මිගාන්ගේ පපුවට තුරුළු වෙලා ඒ පපුව අස්සෙ මූණ හංගගත්තේ ඒ මොහොතේ එයාට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා. පපුවට ගුලි වෙලා මූණත් හංගගෙන ඉකි ගහන කොල්ලගේ හිස් මුදුනින් එයා පුංචි හාදුවක් තියලා එයා ආයෙමත් සැරයක් බදාගත්තේ හරි ආදරෙන්.

" ඇයි මට නොකිව්වේ ඉතින්.. ම්... කිව්ව නම් මං නෑවිත් ඉන්නවද... "

ගැරඬියා සත්සිඳුව තුරුළු කරගෙනම කිව්වා. ඒත් වළදාපු අර පරණ දුක ආයෙමත් හිත මුදුනට ඇවිත්. එයාට ඒ දුක දරාගන්න අමාරුයි. පන්හිඳ ඉස්සරහා එයාගෙ කඳුළු කොච්චර හෙළුවත් එයාගෙ කඳුළු තවමත් ඉවර නෑ.

" දරුවෝ, අනේ නාඬා ඉන්නකෝ මැණික.. මං ඉන්නවනේ දැන්... "

ඒත් එයා ඉකිබිඳිනවා. එයාට ඕනි වුණේ දුක පිටකරගන්න ඇති තරම් කඳුළු හෙලන්නමයි. එයා උන්නේ පියවි සිහියක කියලා කියන්න බැරි තරම්.

" ඔයාව හොයන්න මං කොච්චර මහන්සි වුනාද දරුවෝ.. මං ඔයා එනකන් මේ නුග ගහ යට අනන්තවත් බලන් හිටියා.. ඔයාගේ ඔෆිස් එකට.. ඔයාගෙ බෝඩිමට පවා මං ජේකබ්ව යැව්වා... ඒත් ඔයා හිටියේ නෑ... ඔයාට කියන්න , මට හිතුණා එක වෙලාවකට ගාල්ලම පීරලා හරි ඔයාව හොයාගන්න... අනේ මගෙ රත්තරන්.. ආයෙ නම් මට නොකියා කොහෙවත් යන්නෙපා.. මං නපුරු වුනාට මට තියෙන්නෙත් හිතක් මගෙ දරුවෝ.. මං මැරෙයි... "

ඉකිබිඳින අහිංසක කොල්ලව එයාගෙ පපුවට තුරුළු කරගෙනම හිතේ එතුවක් වෙලා හංගන් උන්නු හැම හැඟීමක්ම මිගාන් වචනවලට පෙරළුවේ එයාටත් ඇස්වලට කඳුළු ඇවිත් බොඳ වෙද්දී..

සත්සිඳු උන්නෙ හරි සිහියක නම් නෙවෙයි අවසිහියක. කිරි අම්මා නැති දුක පිටමං කරන්න කොච්චර කඳුළු සැලුවත් නපුරු ගැරඬියා ඉස්සරහ නම් එයාට කඳුළු හංගන් ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. කොල්ලා කොහේ ගියාද කියලා හිතාගන්න බැරිව ලතැවුනු , බයවුනු හිතට යාන්තම් සැනසීමක් ඇවිත්.

අවසිහියෙන් වගේ මිගාන්ගේ පපුවට ගුලි වෙලා ඉකිබිඳිමින් උන්නු එයා හරි සිහියට ආවේ ඊළඟ තත්පරේදී. ඒත් එක්කම ගුලි වෙලා උන්නු රළු පපුවෙන් ඈත් වෙලා එයා බිම බලාගත්තා.

" සමාවෙන්න සර්... "

එයා කිව්වෙ බිඳුණු කටහඬකින්.

" අනේ ඇයි මගෙ දරුවෝ මේ.. ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ...? "

මිගාන් ඇහුවේ එයාගෙන් මොහොතකට ඈත් වුනු කොල්ලගේ අසරණ වෙලා මැලවුණු මූණ දෝතටම ගන්න ගමන්.

" අඬන්න එපා රත්තරනේ.. ඔය ඇස් දෙකට කඳුළු හරි කැතයි... "

එහෙම කියලා එයා එහෙම්මම අර අහිංසකයගේ ඇස්වල රැඳුණු කඳුළු එයාගෙ මහපටැඟිලි දෙකෙන් පිහ දාලා දැම්මා.

" කෝ ඉතින්.. කෝ දැන් හිනාවෙන්න.."

එයා හරි ලස්සනට හිනාවෙලා කිව්වේ සත්සිඳුගේ ඇස් දිහා ආදරෙන් බලාගත් ගමන්මයි. නපුරු වුණත් එයාගෙ ඇස් දෙකෙත් හරි පුදුමාකාර විදිහට ආදරේ දිලිසෙන හැටි සත්සිඳු හොඳාකාරවම දැක්කා.

ඒ ඇස් දිහා බලන් ඉද්දිත් සත්සිඳුගේ හිත පිරෙනවා. වචනවලින් කියාගන්න බැරි තරම් හැඟීම් ගොඩකින් එයාගෙ හිත පිරිලා. ඒ හැඟීම් ගොන්න වචනවලට පෙරළුවොත් කොල්ලට පොත් ගාණකුත් මදි..

" හිනා වෙන්න ඉතින්... "

එයා එහෙම කියද්දි කොහොම නම් හිනා නොවී ඉන්නද? එයා ඒ ඇස් දිහා බලාගෙනම මැලවුණු මූණට හරි ලස්සන හිනාවක් අරන් පුරවගත්තා. ඒ හිනාව දකිද්දි මිගාන්ගේ හිතත් මෙහෙමයි කියන්න බැරි හැඟීම් ගොඩකින් පිරෙන්න වුණා.

" ලස්සනයි.... "

ඒ මූණේ තිබුණු ලස්සන හිනාව දිහා බලන් ඉඳලා මිගාන් කිව්වා.

නුග ගහ හෙවණ යට හරි පුදුමාකාර සීතලකින් වෙලාගෙන තිබුණේ එයාලට කරන ආශිර්වාදයක් ගානට.

" මං ඔයා එයි කියලා හිතාගෙනම අද බඩුවක් ගෙනාවා... "

මිගාන් එයාගෙ ඇස් දිහා බලාගෙනම කිව්වා.

" ඒ මොනාද සර් ? "

සත්සිඳු ඇහුවේ කුතුහලයෙන් වගේ.

" ටිකක් ඉන්නකෝ ඔහොම... "

හිනා වෙලා කිව්ව මිගාන් bike එක ගාවට ගිහින් එයා අරන් ආව බර්ෆි දාපු box එකත් අරන් ආවේ එක තත්පර දෙක තුනකින්.

" ආ මෙන්න..... "

මිගාන් box එක සත්සිඳුගේ අතේ තියන ගමන් කිව්වා. සත්සිඳු box එක දිහාත් බලලා ආයෙමත් ඇස් හරවලා මිගාන් දිහා බැලුවේ පුදුමයෙන්.

" මේ මොනාද සර් ? "

" බර්ෆි... "

" බර්ෆි කිව්වෙ... "

" කෑමක්.... "

එයා යාන්තමට හිනා වෙලා කිව්වා. සත්සිඳු ඇහිබැම උස් කරන් එයා දිහා බැලුවා.

" දැන් යන්න, පරක්කු වෙයි... tea time එකේදී ඕව කාලා තේ බොන්න.... "

මිගාන් කියද්දි සත්සිඳු හිනා වෙලා බලන් උන්නා විතරමයි.

" දැන් පලයන් ඉතින්... බූරුවා.... "

එයා කිව්වේ ටොක්කකුත් අනින ගමන්. ඒකට නම් ඉතින් දෙන්නටම හිනා ගියා.

" මං එහෙනම් යන්නම් සර්..."

සත්සිඳු අහිංසක විදිහට කිව්වා.

" ම්හ්... යන්නම් නෙවෙයි ගිහින් එන්නම් කියන්න... "

මිගාන් ඒ ඇස් එක්ක එයාගෙ ඇස් පටළවගෙනම කිව්වා.

" හරි සර්, මං ගිහින් එන්නම් එහෙනම්... "

" හ්ම්... පරිස්සමින්... "

සත්සිඳු යාන්තමට හිනා වෙලා හිස සැලුවේ හා කියන්න වගේ.

" ඔයත්..."

කියන්න නොහිටපු දෙයක්දෝ මන්දා.. හැබැයි එයාට එහෙම කියවුණා.

" හවසට මං එන්නම්.. මඟ ඇරලා යන්න නම් ලෑස්ති වෙන්න එපා හරිද ? "

නපුරු ගැරඬියා කිව්වෙ බොරු නෝක්කාඩු බැල්මක් හෙලන ගමන්.

" හරි හරි... ගිහින් එන්න... "

සත්සිඳු ලස්සනට හිනා වෙලා කියද්දි ගැරඬියත් එයාගේ මූණේ ලස්සන හිනාවක් පුරෝගත්තා.

බර්ෆි box එකත් අරන් පාර පැනලා ගිහින් එයා රැජින පාරට වැටුණා . රැජින පාර දිගේ එයාගේ ඇස් මානයෙන් සත්සිඳු නොපෙනී යනතුරුම නපුරු ගැරඬියා නුග ගස් හෙවණට වෙලා බලන් උන්නා.

ඒ බලාපොරොත්තු හරි සුන්දරයි. ඇස් එතුවක් කල් හොය හොයා උන්නු එයා ඇවිත්.. ඉතින් නපුරු ගැරඬියට මීට වඩා සතුටක් කොයින්ද.. නුග ගස් හෙවණෙදි මුළු ඇඟම හමාගෙන ආපු මද සුළඟකින් වෙලා ගනිද්දී එයා bike එකට නැග්ගේ හිත අස්සේ ඉපිළ යන සතුටකින්. ඒ සතුට හිත අස්සේ දෝරේ ගලාගෙන යද්දි මිගාන් බයික් එකෙන් ගිනි මකරෙක් ගානට තුම්මුල්ල බලල පියෑඹුවේ හූ තියලා කෑ ගහලා සතුට පිට කරන්න බැරි හින්දා..

මීළඟ කොටසට ...

More Chapters