පොද වැස්සට අහු වෙලා බර වෙලා තිබුණු හිසට ශවර් එකෙන් වතුර වැටෙද්දි තවත් බර වෙනවා. ඒත් ඉතින් එයාගෙ හිතුවක්කාර හිත කියන්නෙම හෙණ ගහලා ගියත් නාපන් කියලා. ඔක්කොටම වඩා හිසකෙස් වලත් දූවිලි වැදිලා ඇති වෙලා තියෙන dry ගතිය.. ඒක නම් ෂැම්පු දෙතුන් පාරක්ම දාලයි යවන්න වෙන්නේ.
පැයක් විතර වෙලා bathroom එකේ ඉඳලා එයා කාමරයට ඇවිත් තෙත හිස කෙස් ඇඟිලිවලින් ගසන ගමන් ඇඳේ වාඩි වුණා. කොච්චර හීතල වුණත් උඩුකය නිරුවතින් උන්නු එයා ඇඳන් උන්නේ ලා කොළ පාට ටවල් එකක් විතරයි.
එහෙම්මම ඇඳේ වාඩි වෙලා පෝන් එක අතට අරන් බලද්දි වෙලාව එයාට ඕනි විදිහටම ගෙවිලා ගිහින් තිබුණා. තත්පර කටුයි , පැය කටුයි, මිනිත්තු කටුයි කරන කාල සංග්‍රාමය නම් හැමදාමත් වගේ හරිම අපූරුයි. එන්න එන්නම හීතල වැඩි වෙද්දි නම් දරාගන්න අමාරුයි . කොල්ලා එහෙම්මම පෝන් එක ඇඳට දාලා ගිහින් රෙදි රැක් එකෙන් තෝරලා අර ගත්තේ කළු පාට ශෝර්ට් එකකුයි, ලා නිල් පාට ස්කිනි එකකුයි. මිනිත්තුවට දෙකට ඒකත් ඇඳගෙන කොල්ලා ආයෙමත් ඇඳට පැන්නේ ගුලි වෙන ගමන්..
හිටි හැටියෙම වගේ අහු වුණු හිරිපොදයට තෙමිලද කොහෙදෝ දැන් දැන් නම් කොල්ලගේ ඇඟත් ටිකක් වෙව්ලන්න වගේ අරන් තිබුණා. දැනෙන හීතලත් එක්ක පෙරවන රෙද්දත් අරන් පෙරවගෙන එයා ඒ අස්සේ ගුලි වුණේ සීතලෙන් බේරෙන්න. ඒත් සීතල කියන මළ යක්ෂයා පෙරවන රෙද්ද අස්සෙනුත් එයාව ආක්‍රමණය කරන්න ගත්තා.
කොල්ලට සීතල දැන් දැන් හරි හරියට දැනෙන්න ගනිද්දි කරපු මෝඩ ක්රියාවේ අගය හොඳ හැටි තේරෙන්න වුණා. එයා එපා කියද්දිනේ ඔළුවෙ නෑවේ. කියන දේ නාහන ගුරු ඉහළින් ගියත් එකයි පහළින් ගියත් එකයි..
එයා එයාගෙ නළලට පිටි අත්ල තියලා බැලුවේ දැන් තත්වේ මොකද කියලා. හරියට හරි ඉතින්.. තත්වේ භයානකයි. කොල්ලට සහලෝලා උණ.
නළල හරියට ගිනි ගන්න වගේ. එයා එහෙම්මම ආයෙමත් වතාවක් පිටි අත්ල තිබ්බේ බෙල්ල දිහාවට. තවත් පරීක්ෂා කරලා බලන්න දෙයක් නෑ. අදාළ නියැදියේ ක්ෂුද්‍ර ජීවී ආක්‍රමණයක් සිද්ධ වෙලා වගේ.. වගේ නෙවෙයි එහෙම තමයි. තවත් පරීක්ෂණ කරලා නිගමනවලට එන්නේ මොකටද.. දැන් නම් එයා හරියට රත් වෙච්චි කොෆර් තහඩුවක් වගේ. වෙන දෙයක් වෙද්දෙන් කියලා තව තනුක සල්ෆියුරික් අම්ලයෙන් ටිකකුයි, ලිට්මස් කඩදාසි කිහිපයකුයි අදාළ ද්‍රාවණයට එකතු කරන්න තිබ්බා පරලොවම වඩින්න පුළුවන් හැබැයි .
ටිකෙන් ටික ඇඟේ පතේ අමාරුව එන්න එන්න වැඩි වෙද්දි කියන්න කියලා කෙනෙක් උන්නෙත් නෑ. එක පාරටම සන්නියක් කඩා වැටුණු ගානට හැදුණු උණ නිසා එයාට ටිකක් තෙහෙට්ටුයි වගේ. දෙනුවරට කතා කරන්න හිතුණත් එයා ආයෙමත් එයාට කතා කරන්නෙ මොකටද කියලත් හිතුවා.
මේ වගේ වෙලාවක ළඟ ඉන්න ඕනි තමන්ට ගොඩාක් ආදරේ දෙන කෙනෙක්. රැකබලාගෙන පරිස්සම් කරන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඒත් එහෙම කෙනෙක් කියලා ජීවිතේටම කොල්ලා දැකලා තිබුණේ පස් දෙනෙක් විතරයි. පස් දෙනෙක් කියන්නෙ ලොකු ගාණක් වගේ වුනාට මොකද දැන් එතනින් දෙන්නෙක්ම ජීවතුන් අතර නෑ. කිරි අම්මා , තාත්තා... ඒ දෙන්නම දැන් කොල්ලා ගාව නෑ.
ලොකු අප්පච්චි හැරෙන්න ඉතුරු දෙන්නා කවුද ? ඒක තමා භයානකම තැන. හිත දෙතැනක නතර වෙලා තියෙන්නේ ඒ දෙන්න නිසා තමයි. අකීකරු හිතට ඒ මොහොතෙදිත් ලොකු අප්පච්චිටත් ඉස්සර මතකයට ආවේ ඒ දෙන්නව. එයාට අසීමාන්තික ආදරයක් දෙන දඩබ්බර හිතුවක්කාර ගැරඬියවයි, එයාගෙ පන්හිඳ අයියවයි.
ගැරඬියා එයාට සලකන්නෙ එයාගෙම කෙනෙක්ට වගේ. එයා ඒ හිත ඉල්ලන්නේ ඒ ආදරෙන් එයාව පරිස්සම් කරන්න බව කොල්ලා දන්නවා. එයාට කතා කරලා කියන්න හිතුණත් කොහොම නම් කතා කරන්නද.. කෝ ගැරඬියගේ number එකක්..
මෙච්චර දවස් මුණ ගැහිලා කතා බහ කරලත් number එක ඉල්ලගන්න බැරි වෙච්චි එක ගැන නම් කොල්ලටත් කණගාටුයි. මිගාන් වුණත් හිටියේ එයාගෙන් number එක ඉල්ලගන්න වෙලාවක් නැතුව . එයා බලන් උන්නේ හොඳම වෙලාව එනකන්..
ගැරඬියගේ number එකත් නැති කොට කතා කරන්න කියලා ඉතුරු වෙලා තිබුණේ පන්හිඳ අයියට විතරමයි. ඒත් එයත් මේ වෙලාවෙදි මුහුදු ගිහින් නම්.. ඕනි දෙයක් වෙච්චදෙන් කියලා කොල්ලා dial කළේ පන්හිඳගේ number එක..
වැල්ලට පායපු හඳ මුළු වැල්ලම එළිය කරලා. හරියට පෝ දා පායපු පුන් හඳ වගේමයි. ඒ දවස පෝයකුත් නොවන කොට මෙච්චර ලස්සනට හඳ පායලා තියෙන දවසක් නම් ඇත්තෙන්ම අරුමයක් .
පන්හිඳ උන්නේ මාරියා බෝට්ටුවේ ඇලවෙලා ඈත අහසේ පායලා තිබුණු ඒ පුන් හඳ දිහා බලාගෙන . පෝයක් ළඟ ළඟම එන හින්දදෝ හඳ හරියට පිරිලා. සරුසාරෙට ඉදිලා වැඩුණු පලතුරක් වගේ ඒ හඳ දිලිසෙනවා. ඊටත් එහා ඒ සුදු සඳ එළිය පතුරවන්නේ වතුසුදු මල් වට්ටියක් වගේමයි.
ඈත අහස දිහා බලන් ඉද්දි ඒ හඳත්, තරුත් එක්කහු වෙලා හිත අරන් යන්නෙ අලුත් පාරාදීසයකට. හඳ තරුත් එක්ක මොන මොනවදෝ මුමුණන ගානයි. ඒක නම් ප්‍රේම කතාවක්ද කොහෙද..
හඳයි , තරුයි විතරක් නෙවෙයි පන්හිඳගේ හිතත් එයත් එක්කම ප්‍රේම කතාවක් මුමුණන්න අරන්. වැල්ලේ ගැට ගහලා තියෙන මාරියා බෝට්ටුවට වෙලා හඳත් තරුත් දිහා බලන් ඉන්න පන්හිඳගේ හිතට මතක් වෙන්නෙම එයාගෙ අහිංසකයව. ඒ හිත කොච්චර දුර ඈතකට ගිහින්ද කියනව නම් මුහුදු රළ වෙරළ සිප ගනිද්දී නංවන හඬවත් එයාට ඇහුණේ නැති තරම්.
ඒත් නිනව්වක් නැති එයාගෙ කල්පනාව මොහොතකට බිඳලා දැම්මේ බෝට්ටුව අස්සේ රැව් දෙන්න ගත්තු button phone එකේ හඬ. එයා බැලුවේ screen එක දිහා. ඒ වෙන කවුරුත් නෙවෙයි , එයාගේ ආදරේ.. එයාගෙ අහිංසකයා.. තවත් දෙපාරක් හිත හිතා ඉන්නේ මොකටද. එයා එහෙම්මම ආව කෝල් එක answer කළා.
" හෙලෝ... "
එයා කතා කළා.
" හෙලෝ අයියේ... මං... "
ඒ කතා කළේ සත්සිඳු වුණත් ඒ කටහඬ නම් හොඳටෝම බැරෑඬි වෙලා ගිහින්.
" සුදු චූටි.. මොකෝ කටහඬ.. මොකක්ද වුණේ සුදු චූටි.. මට කියන්නකෝ... "
පන්හිඳ කතා කළේ කලබලෙන් .
" නෑ මේ.. මං.. මං අද පොඩ්ඩක් තෙමුණා..දැන් ටිකක් ඇඟ රස්නෙයි.. ටිකක් කිව්වට ටිකක් නෙවෙයි.. ගොඩක්... ඇඟට අමාරුයි අයියේ.. මං හිතන්නේ උණ ගන්නද කොහෙද... "
එයා කිව්වේ ගොඩක් අමාරුවෙන්. කටහඬත් වෙව්ලනවා වගේ.
" අනේ.. ඇයි සුදු චූටි මට නොකිව්වේ.. ඇයි මට කලින් නොකිව්වේ... ? "
" අනේ අයියේ, දැන් වගේ මට ඇඟේපතේ කැක්කුම ආවේ.. ඊට පස්සේ මං නළලටයි , බෙල්ලටයි අත තියලා බලද්දී හොඳටෝම රස්නෙයි.. ඒ ගමන් මේ ඔයාට කෝල් කළේ... "
" අනේ සුදු චූටි.. බෙහෙත් මොකුත්ම නැද්ද බොන්න? පැනඩෝල්වත්... ළඟ කඩයක් තියෙනව නම් කසාය පැකට් එකක් හරි අරන් ඇවිත් බොන්න බලන්නකෝ.. සමහන් වුණත් හොඳයි... "
බෝට්ටුවේ වාඩි වෙලා පන්හිඳ කිව්වා. එයා උන්නේ එරමිණිය ගොතාගෙන වගේ.
" දැන් යන්න බෑ අයියේ.. පැනඩෝල් දෙකක් නම් ඇති.. "
එයා කිව්වේ කටහඬ බාල කරලා කෙඳිරිගාමින් වගේ.
" හරි හරි... අහන්නකෝ.. මං හෙට උදේ පාන්දරින්ම එන්නම්. පාන්දර 4 ට විතර වැල්ලෙන් ආවම හත හමාර , අට වෙද්දි ඔහෙට එන්න පුළුවන් වෙයි සමහර විට.. උපරිම ගියොත් අට හමාර හෝ නවය වෙයි.. මං එන්නම් හෙට අනිවාරෙන්ම... දැනට තියෙන පැනඩෝල් පෙති දෙක බීලා නිදාගන්න , හරිද ? කෑම කෑවද දැන්.. ? "
" ම්හ්.. ඉව්වෙ නෑ... "
" දෙයියනේ... "
" කමක් නෑ.. ගෙනාව නූඩ්ලස් පැකට් එකක් ඇති.. මං ඒක හදාගෙන කන්නම්... "
කොල්ලා කිව්වෙ කෙඳිරි ගගා.
" පුළුවන් ද හදාගන්න තනියෙන්.. ? "
" try කරලා බලන්නම්... "
" එහා කාමරේ කොල්ලෙක් ඉන්නවා කිව්ව නේද... එයා නැද්ද දන්නෑ දැන්... "
" කවුද.. දෙනුවර ද ? "
" ඔව්, එයා තමයි.. ඉන්නවද ? "
" හ්ම්.. නිදි ඇති දැන් නම්... "
" අයියෝ.. අපරාදේ... නැත්නම් එයාගෙන් හරි උදව්වක් ගන්න තිබ්බා.. ශික්... "
" අනේ කමක් නෑ අයියේ... "
" හරි හරි.. දැන් වැඩිය මහන්සි නොවී නිදාගන්න කාලා , බෙහෙත් ටික බීලා... හරිද? "
" හ්ම්... "
" ජේසු පිහිටයි සුදු චූටි..."
" හ්ම්.. බුදු සරණයි... "
" පරිස්සමින් ඉඳපන් හරිද.. මං හෙට එන්නම්.. ම්... "
" හ්ම්.. ඔයත් පරිස්සමින්... "
සත්සිඳු එහෙම්මම කෝල් එක cut කරලා ඇඳේ පැත්තකින් තියලා ඇඳේ ගුලි වුණේ අත පය ඔක්කොම අකුල ගෙන. දැනෙන හීතලත් එක්ක එහෙම නොඉඳ වෙන කොහොම නම් ඉන්න කියලද ?
එතුවක් වෙලා බෝට්ටුවේ අහස දිහා බලන් ඉඳලා, කොල්ලා කතා කරපු ගමන් බෝට්ටුවේ වාඩි වෙලා උන්නු පන්හිඳ බෝට්ටුවෙන් එළියට පැනලා ලොකු හුස්මකුත් අරන් ඈත මුහුද දිහා බලන් හූල්ලන්න වුණා. කාලෙකට ඉස්සර මේ මුහුද කොච්චර නම් රළු වුණාද කියලා එයාට මතක් වුණේ ඒ මොහොතේ..
' සුදු චූටි.. මං දන්නවා උඹට මාව ඇහෙන්නෙ නෑ කියලා.. ඒත් මගෙ හිත උඹ ගැන මුමුණනවා මගෙ රත්තරනේ.. උඹ ඇබිත්තං කාලේ මේ මහ මුහුද රළු වෙලා උඹෙ තාත්තයි, මල්ලියි අරන් ගිය දවසේ ඉඳන් උඹ අඬපු හැටි මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා මගෙ රත්තරන්.. උඹ වෙනුවෙන් මං ඉන්නවා කියලා මං හිතාගත්තේ එදා... උඹ ඒ වෙද්දි හරි ඇබිත්තං මගෙ මැණික.. උඹෙ ඔය පුංචි ඇස් දෙකෙන් පුංචියට කඳුළු වැටෙන හැටි මං හොඳටම දැක්කා.. එදා උඹ අඬන හැටි මට දරාගන්න බැරි වුණා මගෙ දෙයියෝ... මේ වෙද්දි අවුරුදු විස්සක් විතර වෙලා.. යන්තම් බහ තෝරන කාලෙදි උඹ ගැන මේ හිතේ ඇති වුනු ඒ ලෙන්ගතුකම උඹට ආදරේ කරන්න හේතුවක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත් පන්හිඳ අයියේ කිය කියා මගේ ඇඟේ උඹ දැවටෙද්දි ඔය ඇබිත්තං එකා ගැන මේ හිතේ ඇති වුනේ මහ මුහුදටත් වඩා විසාල ආදරයක් සුදු චූටි.. ඒ ආදරේ මං මැරිලා මේ පොළවට පස් වෙලා ගියත් මගෙ හිතේ එහෙම්මම තියේවි.. උඹව මං පරිස්සම් කරනවා.. හැමදාටම.... '
ඒ පන්හිඳගේ හිත. ඒ සිතුවිලි අවසානයේ ලොකු හුස්මක් අරන් පිට කරපු පන්හිඳ ඒ රෑ වෙනුවෙන් මුහුදට ආයුබෝවන් කියලා වැල්ල දිගේ ගේ දිහාවට ඇවිදගෙන යන්න වුණා.
කොච්චර අසනීප වුනත් කන්නෙ නැතුව හිස් බඩ පැනඩෝල් බොන්න හොඳ නැති නිසා සත්සිඳු අමාරුවෙන් වගේ නැඟිටලා හීටර් ජග් එකට වතුර එකක් ගැහුවා. Table එකේ ලොකර් එක විවර කරලා ගෙනල්ලා තිබුණු නූඩ්ලස් පැකට් එක කඩලා පුංචි බෝල් එකකට දාගත්තු කොල්ලා බලන් හිටියේ වතුර එක උණු වෙනකන් . විනාඩි පහක් විතර වෙලා යනකන් කොල්ලා රෙද්දකුත් පෙරවගෙන බලන් උන්නේ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩි වෙලා. මිනිත්තු පහක් හයක් යද්දි වතුර එක උණු වෙන්න ගත්තම කොල්ලා අමාරුවෙන් වුණත් ඇඳෙන් බිමට බැහැලා ගිහින් බෝල් එකට වතුර වත් කරලා නූඩ්ලස් එක තැම්බෙන්න දාලා ආයෙමත් ඇඳට වෙලා ඔරලෝසුව දිහා බලන් උන්නා.
ඔරලෝසුව තමා ඔරලෝසුව.. හෙමින් ගෙවෙන්න තිබ්බා නම් කියලා හිතුණු මොහොතට තත්පර කටුව කැරකෙන්නේ හරි වේගයෙන්. ඒත් ඉක්මනට ගෙවෙන්න ඕනි වෙලාවල් වලදී ඒ මෝඩ තත්පර කටුව කැරකෙන්නේ ගොළුබෙල්ලෙක් ගස් බඩ ගාන්න වගේ. හැමදේම නිකන් මායාවක් වගේ. අවිනිශ්චිත තත්පර ගොඩක් මැද්දේ ගෙවෙන ජීවිතේ ගෙවන්න පාර කපන්නෙම ඔය තත්පර කියන මෝඩයා.. ඒ මෝඩයා එක අතකට කරන මෝඩකම් නම් නරකමත් නෑ. මොකද වෙන්වීම් අතරේ එක්වීම් , හමුවීම් එමට කරවන්නෙම ඔය තත්පර කියන මෝඩයා..
ඒ වෙද්දි නම් නූඩ්ලස් එක තැම්බිලා ඉවරයි. කොල්ලා ඇඳෙන් බැහැල ගිහින් වතුර ටික පෙරලා අයින් කරලා නූඩ්ලස් ටික වතුර මිරිකලා ගත්තා. රස මිශ්‍රණ පැකට් දෙකකුත් පේන්න තිබ්බත් කොල්ලට ඒක දාන්න හිත දුන්නේ නෑ.
" එක අතකට මක් වෙනවද නේද.. ? කලාතුරකින් කන එකනේ... "
එයා තනියම මුමුණන අතරේ රස මිශ්‍රණ පැකට් දෙකත් නූඩ්ලස් එකට මුසු කරගත්තා. දැන් නම් නූඩ්ලස් එකම සුවඳයි ; ඒ වගේම රස පාටයි.
කන්න පිරියක් නැති වුණත් මේ වගේ නූඩ්ලස් එකක් කන්න නම් හිතේ අපුලක් නෑ. නූඩ්ලස් ප්ලේට් එකත් අරන් ගෑරුප්පුවක් අතේ රඳවගෙන කොල්ලා ආයෙමත් ඇඳට ගිහින් වාඩි වුණේ කෙළ ගිලින අතරේමයි..
' ම්...සුවඳ... '
එයාගෙ හිත කිව්වෙ එහෙම.
සත්සිඳු නම් කෑම කන්න පටන් ගත්තා. කෑම කන්න එච්චරටම පිරියක් නැති වුණත් නූඩ්ලස් එකේ රස නම් තව තවත් බඩගින්න වැඩි කරවනවා. ඉතින් කොල්ලා ආසාවෙන් නූඩ්ලස් එක කන්න වුණා.
එයා අසනීප ගානෙ වුනත් කෑම කන්න ගත්තට මොකද ගැරඬියට නම් බඩගින්නක් කියලා නාමයක්වත් තිබුණේ නෑ. ගෙදර ආපු හැටියෙම වගේ එයත් bathroom එකට වැදිලා wash එකක් දාගත්තේ එද්දි ඇඳුම් ටික ඔක්කොම තෙත් වෙලා තිබ්බ නිසා.
Sleeprobe එකත් දාගෙනම මිගාන් පඩිපෙළ බැහැගෙන පහළට ඇවිත් බාබු අන්කල් එක්ක හිනා වෙලා කෑම මේසයෙන් අසුන් ගත්තේ phone එකේ මොන මොනවදෝ type කරන ගමන්..
" බොන්න මොනා හරි හදන්නද සර්..? "
බාබු අන්කල් ඇහුවේ ගැරඬියගේ ළඟට ඇවිත් යටහත් පහත් විදිහට .
" Coffee එකක් හදන්න පුළුවන්ද බාබු අන්කල්.. ? "
එයා කිව්වේ පෝන් එකේ screen එක දිහා බලාගෙනමයි .
" අනේ ඕක මොකක්ද සර්.. ඔහොම ඉන්නකෝ.. මං විනාඩියට හදලා දෙන්නම්... "
බාබු අන්කල් එහෙම කියලා එතනින් ගිහින් kitchen එකට ගොඩවෙලා කොල්ලට coffee එකක් හදන්න ගත්තා. Coffee එක හදන අතරතුරේදි බාබු අන්කල් කොල්ලත් එක්ක කතාවට වැටුණේ සැරින් සැරේ කොල්ලගේ දිහාවට ඇස් දෙකත් යොමු කරන ගමන්.
" සර්... "
" ම්... "
එයාගෙ ඇස් දෙක නම් තාමත් පෝන් එකේමයි.
" සර්, දැන් ඔය රෑට රෑ වෙලා යන එන ගමන් බිමන් ටික පොඩ්ඩක් අඩු කලා නම් හරි නේද... ?"
" ඇයි බාබු අන්කල් ? "
කොල්ලා පෝන් එක පැත්තකින් තියන ගමන් බාබු අන්කල් දිහා බැලුවේ පුදුමෙන් වගේ.
" නෑ සර්.. මං ඔය ශේන් සල්ගාදු ගැන නොදන්නවා නෙවෙයිනේ . ඕකා නාහෙට නාහන එකෙක් සර්.. මං මේ සර්ට කියන්නේ පරිස්සම් වෙන්න කියලා... "
බාබු අන්කල් කියන වචන දිහා හොඳින් ඕනෑකමින් සත්සිඳු අහගෙන , බලාගෙන උන්නේ තොල් දෙක හපාගෙන හිනාවෙන ගමන්. එයා එහෙම්මම නැගිටලා බාබු අන්කල් ගාවට යද්දි බාබු අන්කල් එයා දිහා බලන් උන්නෙත් පුදුම වෙලා වගේ.
" අයියෝ බාබු අන්කල්..."
ඒ කියන ගමන් ගැරඬියා එයාගෙ අත් දෙක බාබු අන්කල්ගේ උරහිස් දෙක උඩින් තියාගත්තා. බාබු අන්කල්ට ඒ මොහොතෙ දැනුනේ තමන්ගේම පුතා එයා ඉස්සරහා පිට ඉන්නවා වගේ හැඟීමක්..
" දන්නවද බාබු අන්කල්.. ඔය ඕනිම සිංහයෙක් මෙල්ල කරන්න මේ ඩිනෝ මිගාන් ගාව බෙහෙත් තියෙනවා.. ඉතින් බය වෙන්න එපා හරිද.. "
එයා කිව්වේ බාබු අන්කල්ගේ නිකට මිරිකන ගමන් හිනා වෙලා. බාබු අන්කලුත් හිනා වෙලා coffee එක හදන්න ගනිද්දි කොල්ලා ආයෙමත් ඇවිත් කෑම මේසයේ එයා වාඩි වෙලා උන්නු සුපුරුදු පුටුවෙන්ම අසුන් ගත්තා. බාබු අන්කල් මිනිත්තු දෙකක් තුනක් යන්නත් ඉස්සර coffee එක හදලා ගෙනත් දුන්නම එයා පිඹ පිඹ බොන්න ගත්තේ උණුසුම් වැඩි නිසා..
" රස්නෙද සර්..? "
Coffee එකට පිඹ පිඹ බොන කොල්ලා දිහා බලාගෙන බාබු අන්කල් ඇහුවා.
" ටිකක් විතර... "
එයා උත්තර දුන්නේ කෝපි උගුරක් බොන ගමන්.
" මේ වැස්සේ නෑවට පස්සේ උණුවෙන් තමා coffee එකක් බොන්න ඕනි.. හීතල යන්නත් එක්ක... "
එහෙම කියලා බාබු අන්කල් ආයෙමත් kitchen එකට ගොඩ වදිද්දී කොල්ලට මතක් වුණේ එයාගෙ හිත හොරකම් කරපු අහිංසකයව.
' පව් දෙයියනේ.. කාලාද දන්නෙත් නෑ. පණ්ඩිතයා වගේ ගිහින් නෑවද දන්නෑ.. ඕකට හොඳටෝම පිස්සුනේ ඉතින්.. අන්තිමට අසනීප වුනාම ඔක්කොම හරි.. ශික්..කොහෙද, number එකක්වත් නෑනේ කතා කරන්නවත්.. අනිත් දවසෙ නම් ඉල්ලගන්න ඕනි... '
එයා coffee එක බොන ගමන් හිතුවෙ එහෙම.
අසනීපකාරයා ගැන ගැරඬි උතුමාණන් දන්නෙ නෑනේ. නාන්න එපා කියලා උපදෙස් දීලා ආවත් පණ්ඩිත පුත්‍රයා නෑමට ගිහින් කරගත්තු හරිය මදැයි. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා රෙද්දකුත් පෙරවගෙන එයා ඇඳට ගුලි වෙලාම උන්නා. කරදියෙන් පෙකණි වැල කපපු බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක් වෙච්චි පහතරට උන්දැ වැස්සෙත් තෙමිලා ඇවිත් පණ්ඩිතකමට ඔළුවෙත් නාලා දැන් වෙවුල වෙවුල ඉන්න බවක් ගැරඬි උත්තමයා දන්නවා නම් එයාට දෙයියන්ගෙම පිහිටයි .
Coffee එකත් බීලා ඉවර කරලා ගැරඬියා පඩිපෙළ නැගලා ඇවිත් කාමරයට වැදිලා දොර වහගත්තේ නිදිමත වැඩි නිසාමයි. සීතල දවස්වලට ඉතින් නිදිමත එන එක අහන්නත් දෙයක්ද. ඔක්කොටම හපන් කොල්ලව බෝඩිමට ගිහින් ඇරලවලා එද්දි කියපු පාන්කිරිත්තගෙ කතාව. ඒක නම් මුළු පිරිමි සංහතියටම පොදු කාරණාවක්.. හරියට මහා පොදු සාධකය වගේ.
ඒ රෑ ගණිත සමීකරණ විසඳන රැයක් නෙවෙයි , ඒ රෑ ආශක්ත වෙලා තිබුණේ ආදර සමීකරණ විසඳන්න විතරමයි. සුදු සඳ එළිය වුණත් හැංගි හැංගි එබිකම් කරමින් තෙත් පෘථිවි තලයටම විශද කළේ සෞම්‍යවත් බවක් මුහු කරපු සරාගී මුහුණුවරක්.. ඒ පහස මවාගෙනම ගැරඬියා ඇඳට වැටිලා නින්දට ගියේ දහසකුත් හීන මවා ගන්න ගමන්..
මීළඟ කොටසට ...